Saturday, December 15, 2018

දෙසැම්බර් 16 ශු.සුවිශේෂය ශු.ලූක් 03-10:18 මෙනෙහි කිරීම



දෙසැම්බර් 16 ශු.සුවිශේෂය
ශු.ලූක් 03-10:18
10 එවිට ජනකාය, ''එසේ නම් අප කුමක් කළ යුතු දැ''යි ඔහුගෙන් ඇසූ හ.11 ඔහු උත්තර දෙමින්, ''අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා''යි කී ය.12 අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, ''ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ''යි ඔහුගෙන් ඇසූ හ.13 ''නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ''යි ඔහු ඔවුන්ට කී ය.14 හේවායෝ ද, ''ඉතින් අප කළ යුත්තේ කුමක් දැ''යි ඇසූ හ. ''කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙ‍න් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ''යි ඔහු ඔවුන්ට කී ය.15 ''මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ''යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්,16 ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, ''මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙ‍ක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.17 කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය''යි කී ය.18 මෙ‍සේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය

මෙනෙහි කිරීම
ආගමනයේ තෙවැනි ඉරුදින, ආනන්දයේ ඉරුදිනයි. අද පළමු දේව ප්‍රකාශනය, දෙවැනි දේව ප්‍රකාශනය සේම පිළිතුරු ගීතය ද, ප්‍රීතිය ගැන කතා කරමින් ප්‍රීති වීමට අපට ආරාධනා කරයි.

ප්‍රීතිය නැතිනම් සතුට මනෝවිද්‍යවේ එන මූලික මිනිස් හැගීම් අටින් එකකි. එම න්‍යයන්ට අනුව සතුට තෝරා ගැනීමකි. (Happiness is a choice) එහෙත්, අද දේව වචනයේ පිළිවෙත හුවා දක්වන ප්‍රීතිය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඵලයකි. එය මෙලෝ වටිනාකම් ඉක්මවා යන සතුටකි. කතෝලිකයින් ලෙස අප වෙර දැරිය යුත්තේ මෙම සැබෑ ප්‍රීතිය මෙලෝවේදීම අත්දැකීමටයි. එහි පූර්ණත්වය ස්වර්ගීය ජීවිතයට ඇතුල් වූ දිනෙක අපි භුක්ති විදිමු.

ජීවිතය යනු දුක සැප දෙකෙහිම දෝලනයක් බව අපි කවුරුත් පිළිගන්නා සරල යතාර්ථයයි. අධ්‍යත්මික, සාමාජීය, ශාරීරිකව හා මානසික වැටීම් මධ්‍යයේ වුවත් අපට සතුටු විය හැකි නම් එය සැබෑ පරිණත ආත්මික ජීවිතයක ලකුණකි. එසේ සතුටු වීමට හේතුව පළමු කියැවීම ගෙනහැර පායි. 'ඔබේ දෙවි සමිදාණෝ ඔබ සමගය, ඔබට ජය අත් කර දෙන සබළාණෝය.' ඒ වචනය අද ඔබටත් මටත් අයිති කරගත හැකි නම් ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන සතුටේ අපි පංගුකාරයෝ වෙමු.

අද වන විට ලෝකයේ සංවර්ධිත යැයි යැයි කියැවෙන රටවල සිට පහළම ස්ථරයේ රටවල මිනිසුන් දක්වා පොදුවේ අත්දකින වේදනාත්මක තත්වයකි, විෂාදය (dippression). ආතතියේ උච්ඡතම අදියර එයයි. අද දෙවැනි කියැවීමෙන් ශු.පාවුළු තුමා එයට කදිම ඖෂධය අපට නිර්දේශ කරයි. එය නම් අන් කවරක් නොව යැදීම යි, 'කිසිවක් ගැන කරදර නොවී කන්නලව්වෙන් අපගේ අයැදීම් දෙවියන් වහන්සේට දැන්වීමයි.' නත්තල් මංගලෝත්සවයට දින අටක් තිබියදී සභා මාතාවන් අපව ගැබුරු යාච්නාවේ දිවියකට පොළොබවන්නේ එයම සැබෑ ප්‍රීතියේ උපත වන නිසාවෙනි. (Prayer is the source of joy)

අද ශුද්ධවූ සුභාරංචියේ තාරකාව ස්නාවක ජූවාම් මුනිදුන් ය. උන්වහන්සේ අප ආලෝකමත් කරන්නේ 'සදාතන ජීවිතය' නම් විනාශ නොවන ප්‍රීතිය ලබා ගැනීමේ මාර්ගය ගැන අපට පහදා දීමෙනි. සමාජයේ උස් පහත් සෑම ජන කණ්ඩායමක්ම අමතමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ 'බෙදාගැනීම', දෙවීක ප්‍රීතිය කරා අපව ගෙන යන බවයි. ලෝකය 'බදාගැනීමේ කලාව' අප මනසට කිදවීමට යන මෙවන් සමයක 'බෙදාගැනීමේ කලාව' කියා දීමට ස්නාවක ජුවාම් මුනිදුන් අප ඉදිරියේ දිස්වේ. දේව පුත්‍රයාණන්ගේ මාංශගතවීම පවා බෙදාගැනීමේ ඵලයකි. පියාණන් වහන්සේ තම ඒක ජාතක පුත්‍රයාණන් අප වෙනුවෙන් පොලෝ තලයට ත්‍යජ කිරීම මාංශගතවීමේ අති සුන්දරම පැතිකඩයි. එය දෙවිදුන්ගේ බෙදාගැනීමේ ඵලයකි.

අවසාන වශයෙන් මේ මෙනෙහි කිරීම ඔබේ මගේ ජීවිත තුළ ප්‍රායෝගික කිරීමට අපි අදිටන් කරගමු. ඒ සදහා,

1) ඔබ කුමන අසහනකාරී තත්වයක සිටියද, ඔබ ලෝකයේ බරපතලම පව්කරුවා වුවද, දෙවිදුන් ඔබ සමග සිට, ඔබටත් නොදැනී ඔබගේ ජීවිතය නිසි මගට ගෙන යන බව අදහා ගන්න.

2) ඒ ඇදහිල්ලෙන් නොකඩවා යදින්න, ඔබ වෙනුවෙනුත්, ජීවතුන් හා මළවුන් වෙනුවෙනුත් යදින්න, නත්තල් මංගල දිනය දක්වා විශේෂ යැදීමේ සමයක් ගත කරන්න.

3) ඔබට බෙදාගත හැකි සුලු දෙයක් වුවද බෙදා ගැනීම අතපසු නොකරන්න, විශේෂයෙන් ඔබේ ආදරය, මිත්‍රත්වය බලාපොරොත්තුවෙන් සිටින සෑම පුද්ගලයෙකුම හා වචනයක් හෝ බදා ගැනීමට අමතක නොකරන්න. මන්ද යම්විටක ඔබට මට අතපසු වී ඇති ස්වාමින් වහන්සේ ඔවුන් තුළ අපට හමු වනු නියතය.

දේව වචනයෙන් සන්නද්ධ වූ අපි මේ සතිය පුරාවටමත් ජීවිතය පුරාවටමත් දෙවිදුන් කෙරෙ අචල විශ්වාසය, දෙවිදුන් යැදීම හා බෙදාගැනීම තුළ සැබෑ ප්‍රීතිය අත්දකිමු. කිතුණු ජීවිතය ශුද්ධවන්ත සේම ප්‍රීතිමත් ජීවිත ක්‍රමයක් බව අපගේ ජීවිතාදර්ශයෙන්ම ලොවට හඩගා කියමු. ආමෙන්.

No comments:

Post a Comment

නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.

 දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...