දෙසැම්බර් 5 වන දින සුබ අස්න –
ශු. මතෙව් 15:29-37
29 ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක. 30 මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක. 31 එවිට ගොළුවන් කතා කරන බව ද, අබ්බාගාතයන් සුවපත් වී ඉන්න බව ද, කොරුන් ඇවිදින බව ද, අන්ධයන්ට ඇස් පෙනෙන බව ද දුටු ජනකාය පුදුම වී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ප්රශංසා කළහ.
32 ජේසුස් වහන්සේ සිය ශ්රාවකයන් තමන් වෙත කැඳවා, ”මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක. 33 ශ්රාවකයෝ උන් වහන්සේට කතා කොට, ”මෙතරම් මහත් සමූහයකට සෑහෙන තරම් කන්න දීමට මේ පාළුකරයෙහි අපට කෑම කොයින් දැ”යි ඇසූ හ. 34 ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි ඇසූ සේක. ”රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් ය”යි ඔව්හු කී හ. 35 උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, 36 රොටි සත ද මසුන් ද ගෙන තුති පුදා, කඩා, ශ්රාවකයන්ට දුන් සේක. ශ්රාවකයෝ ඒවා සමූහයාට දුන්හ. 37 හැම දෙන ම කා සෑහීමට පැමිණියහ. ඔව්හු ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවා ගත්හ. 38 ස්ත්රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ සාර දහසකි. 39 උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක.
මෙනෙහි කිරීම
අද සුභාරංචිය ජීවිතය ගැට ගහගන්න අරගලයක යෙදිල ඉන්න අපි හැම දෙනාටම ඇත්තටම සුභම සුභ පණිවිඩයක්. මිනිස්සුන්ගෙ බඩගින්න මිනිස්සුන්ට දැනෙන්නත් කලිනුයි ජේසු අද කරළියට බහින්නෙ. මිනිස්සුන්ගෙ ආත්ම ගැන විතරක් නෙමේ පොලෝ මට්ටමේ තියෙන ඇට ලේ මස් නහර ගැනත් හුගාක් සංවේදීව හිතන ජේසු කිසිමදාක අපි කාවවත් හිස් අතින් අරින්නෙ නැහැ. නැවතිල බැලුවොත් අපි එකිනෙක්කෙනා ජීවිත ගමනෙ මේ පුදුමාකර 'දේව සංරක්ෂණය' අත්දැකපු වාර අනන්තවත් ඇති. පාළුකරයෙ මන්නා දීපු, පන්දාහකට කන්න රොටී වැඩි කරපු, අන්තිමේදී තමුන්ගෙම ළේ මස් කන්න බොන්න දීපු දෙවියන්වයි අපි අදහන්නෙ. ඒ හින්ද ජීවිතේ මොන අන්ත අසරණ, තුච්ඡතම තැන හිටියත් අද ජේසු ලොකු බලාපොරොත්තුවේ වචන ටිකක් අපිට කියනව, " පුතේ, දුවේ, ඔයා වෙනුවෙන් මහා ප්රාතිහාර්යය කරන මහත් දෙවි කෙනෙක් ඉන්නව ඔයාට, බය වෙන්නෙපා" ආමෙන්.
බලාපොරොත්තුවේ සමයේ බලාපොරොත්තුවේ වදන්...praise the lord
ReplyDelete❤️
ReplyDelete